Wednesday 28 May 2014

06. දේව වරම

පහුගිය දොහේ උනු අලකලංචිය හින්දා බ්ලොග් ලිවිල්ල අල්ලා දාන්ටත් හිතුනා. ඒත් අන්තිමේ ඒක ගොඩදාගන්ට පුලුවං කොරමේයක් හම්බවුන හින්දා උන්නු විදිහට මළාමදිද කියල ඔන්න ඔහෙ හිත හදා ගත්තා.

අද උදේ බ්ලොග් සාගරයේ ජබුඃ ගහන කොට උදෙම දැක්කෙ රවී ලියා තිවුනු මැගිලිං ගෙ කතාව. මීට කලිනුත් ඔය රවිය මේ වගේ කාන්තා විමුක්ති අරගලයට හරස්කපන ඔය වගේ පොරතිගාමී කතා ලියලා තිබුනා. ඕන්න යන්තමිංවත් බබලතුංගෙ එඩිය වඩවන්ට හේතුවුනෙ අර හැලපයා දමපු කොච්චිමෝලේ කතාව විතරයි. ඒ හින්දා මටත් හිතුනා අපේ ධීර වීර බො.බ.සේ (බොදු බබලත් සේනාව)ට දිරි දෙන කතාවක් ලියන්ට. ඒක හරි හමං පුරුසයෙකුගෙ යුතුකොමක් වෙච්චි.

මේක ඔය රවියලා හැලපයලා කියන්නැහේ මේ ඊයෙ පෙරේදා උන්නු ඔය මැගිලිං, අමරේ, බමරේ වගේ අවසේස එකාලගෙ සන්දියේදී වුනු සංගෙදියක් නෙවේ. ඔය බලංගොඩ මනවයා නෙවේ ඒකාගෙ අත්තා මුත්තා කිත්තා කිරිකිත්තා තියා කිරිකෑමුත්තටත් කලියෙං සිද්ද වෙච්ච දෙයක් ඕං. සහසුද්දෙම්ම කියනවානං ලෝකාරම්බයේදීම වෙච්චි වැඩක්.

ඔන්න දැං සර්වබලධාරී දෙවියන් වහන්සේ උන්වහන්සේගේ කැමැත්ත පරිදි මේ මගුල් සක්වළත් ඔය තියෙන ගහකොල, දියෑලිත් ඉන්න අනෙකුත් සතා සීපාවත්  ප්‍රාදූර්බභූත කොරලා අහක්ක වෙලා අන්තිමේදි මේ සියලු දෙවල් බලා කියාගෙන ඉන්ටය කියලා මේ මනුසතාත් කිරියේට් කොළා. උන්වහන්සේ මේක කළේ බොහොම ක්‍රමනානුකූලව පියවරෙන් පියවර. මුලිං ලෝකය හා දෙව්ලොව, ඊගාවට අඳුර, ආළෝකය, මුහුද, තාරකා ඔයසේරම මවා තියලා සවැනි දවසේ තමයි ඕං මේ මගුල්සක්වළට හා පුරා කියලා මනුසතාව පහල කොලේ. එකා තමා "ආදම්" (දැං කාලෙ එකාලනං කියන්නෙ ඇන්ඩම් කියලා).ඉතිං ටික කාලයක් මේ ආදම් බොහොම සමාදානෙං ඊඩ්න් උයනට වෙල හිටියා. ඔහොම යනකොට දෙවියන් වහන්සේට හිතුනා මූත් ඊතිං කාගෙ වුනත් දරුවෙක්නෙ තනියෙං තියන එකත් හරිනෑනේ කියලා ආදම්ට නින්ද යනකං ඉඳල උගේම ඉළ ඇට කෑල්ලක් අරගෙන "ඒවා" කියන ලෝකේ පළවෙනි ඉස්තිරියාව පහල කොලා. (දැං බලමුකො එකෙත් හැටි මුන්දැලා මූලාරම්බේ ඉදලම අපේ ඇටේ (මං කිව්වේ මේ ඉළ ඇටේ, ඉළ ඇටේ) කාගෙනමනේ හැදිල තියෙන්නේ).

ඉතිං දැං දෙන්නම ඊඩ්න් උයනට වෙලා පළවැල වළඳමිං කල් යවනවා. හැබැයි දෙවියන්නාන්සේ එක කොන්දේසියක් දැම්මා. ඒ තමා තහනම් ගහේ පළ කෑම තහංචියි කියන එක. උන්වහන්සේ මේ තහංචිය පනවලා නිකා හිටියෙ නෑ. ආදම් සහ ඒවා තහනම් ගහෙන් දුරිං දුරුවෙලා සතුටිං සුවෙං ඉන්නවද කියල බලන්ට විඩිං විඩේ ඇවිදිල්ල යනවා. උන්නාංසේ මෙහෙම විසිට් කොරනකොට ඔය අපේ එකාල වගේ හිස් අතිං අවේ නෑ. හැමදාම ආදම්ට සහ ඒවාට මොනවා හරි තමූංගේ හචා මල්ලේ දාගෙනම තමා ආවේ (අපේ උන්දැලගේ මලුඔල තියෙන එවෑ හැටියට සර්වබලධාරී වූ උන්නාසෙගේ මල්ලෙ කොච්චරනං දේවල් තියෙන්ට ඇද්ද නේද?). එතුමා අරගෙන ආවෙත් ඔය අද කාලෙ වගේ ටොපිචොකලට්, සිං කාඩ් (sim card) නෙවේ. හැමදාම ගෙනාවේ ආදම් සහ ඒවාගෙ ජීවිතේට වැදගත්වෙන දෙයක් තමා. ඒ ගේන එක එක දේවල්වලින් උන්වහන්සේ තමා මැවූ මේ සුහුඹුල් ජීවීන් දෙන්නගේ සරීර කූඩු තව තව වැඩි දියුණු කොලා. කෙටියෙං කියනවා නං fine tune කලා ඕං.

ඔන්න ඉතිං දවසක් විසිට් එකක් ආපු වෙලාවක ආගිය තොරතුරු කතා කොරල හිට (\\එහෙත් හරි වැස්ස මෙහෙත් හෙම වෙංටැ//,  \\බුලත්මද කන්නේ සුරුට්ටුද බොන්නෙ//) උන්වහන්සේ මෙන්න මෙහෙම කීවා.
"අද මම බොලාට බොහොම වටිනා කියන තෑගි දෙකක් ගෙනැල්ලා තියෙනවා. මේ දෙකම බොහොම බලගතු වරම් දෙකක්. තමන්ගෙ වරම තමාට තෝරාගන්ට පුලුවං.හැබැයි එකක් හොඳට මතක තියාගන්ට ඕනේ. තමුංගෙ වරම තොරාගත්තට පස්සෙ අයේ තව අවුරුදු දාහකට නෙවේ කෝටියකට පස්සෙ මගෙ ලඟට ඇවිත් ඉල්ලුවත් අයේ දුන්න වරම වෙනස් කොරන්ට විදිහක් නෑ. ඒ හින්ඳා බොහොම කල්පනාවෙන් තමුංගේ වරම තොරා ගන්ට ඕන. හොඳයි ඉස්සලාම දෙන වරම තමා තමුංට හිටගෙන මුත්‍රා කොරන්ට පුලුවන් වීමෙ වරම. කාටද මේක ඔනේ?"

ආදම් ඔහොම හිටියට හොඳ කල්පනා කාරයා. මිනිහා ක්ෂනිකව හිතුව "මට මේ වරම ලැබුනොත් ආයෙ ගස් ගල් අස්සෙ රිංග රිංගා බිමට පාත් වෙවී ඉන්ට ඔනෙ නෑ කෙලිං හිටගෙනම කාරිය කොරගන්ට පුළුවං". මෙහෙම හිතලා ආදම් විගහට පැනලා කීවා "අනෙ දෙවියනේ මට දෙන්ට, මට දෙන්ට" කියලා.

දෙවියන් වහන්සේ ඒ පාර බැලුවා ඒවා දිහා. බලලා ඇහුවා "ඒවා, දුව මොකද කියන්නේ. මේ වරම එහෙනං මේකට දීල දාන්ටද?"

ඒවාත් ටිකක් කල්පනා කොරලා මෙහෙම කීවා." කොයි හැටි වෙතත් ඉතිං ආදම් නෙව වැඩිහිටියා. එයාට කැමති එක ඔන්න ඔහෙ ගත්තාවෙ ආයෙ මයෙ මොකෝ. ඔක්කෝම හරි ඔය වරම මට දුන්නා කියමුකෝ. මේ තියෙන විදිහට (අදාළ අවයවෙත් පෙන්නලා, ආයෙ ඉතිං රෙදි ඇඳගෙන හිටිය එකක්යැ) ඔය කාරිය හිටගෙන කොරන්ට ගිහිල්ල අයෙ මොටද ඔය හුළිජ්ජ දෙපරැංදෙත් හිට ගා ගන්නෙ. ඔන්න ඔහෙ ආදම්ටම දීල දාන්ට. මයෙ අමනාපයක් නෑ."

"හා එහෙනං හොඳයි" කියලා උන්නාන්සෙත් ආදම්ගෙ ජුන්ඩට ළං කොල්ලා අසුරක් ගැහුවා, ගහලා පුඃ පුඃ පුඃ කියල තුංපාරක් පිඹලා හිට , "හා එහෙනං ආදම් කොලුවො චැක් කොරලා බලපං" කියලා කීවා. ආදමුත් ඔන්න වැඩෙ චැක් කොලා. අම්මද බොල, ඔය යන්නෙ තුන් දෙනාම ඩබල් දාලා හිටගෙනම. ආදම්ට දැං හෙන සැට. මේකනෙ යකෝ නියම සුදිය කියල මිනිහ දැං අහළ තියෙන හැම ගහක් ගලක් ගානෙම ගිහිල්ලා ටැප් එක අල්ලනවා. විසිල් ගහනවා. තනි කකුලෙං හිටගෙන චූ කොන්නවා. කකුල් දෙක ඈත් කොරගෙන චූ කොන්නවා වැඩ කෝටියයි.

ඕන්න ටික වෙලාවකට පස්සෙ ආදම් තමංගෙ ආතල් එක අරගෙන ඉවර වුනා. (මං හිතන්නේ ටැංකිය හිස් වෙන්ට ඇති). ඔන්න ඊට පස්සෙ දෙවියන්වහන්සේ මෙහෙම කීවා. "හා ඕන්න එහෙනං ඒවා දුවගෙ වරම. ඒක තමා, තමුංට මිං පස්සෙ පුලුවං බහු සුරතාන්ත (multiple orgasms) අත්විඳින්ට." මේක ඇහුනා විතරයි ආදම්ට තමං ඉක්මං වෙලා වැඩේ අල කොරගත්ත බව තෙරුං ගියා. "අනේ දෙවියනේ, අනේ ...", "හා හා මම කීවනේ ආයෙ මේ වරම වෙනස් කොරංට විදිහක් නෑ කියල දැං ඉතිං කොරන්ට දෙයක් නෑ. මෙහෙම කියල දෙවියන් වහන්සෙ එවාටත් ආදම්ට සේම පුඃ පුඃ පුඃ කියල තුංපාරක් පිඹලා අහක්කලා උන්වහන්සෙගේසක කිරි සේ හොබන ධවල සෛන්ධවයින් සදෙනෙක් යෙදූ දිව්‍ය රථයට නැගලා දෙන්නටම ටටා පාරක් දාල තමුංගෙ විමානෙට ගියා.

හොඳටම පශ්චත්තාප වුනු ආදම්, "දැං ඉතිං වෙන කුමක් කොරන්ටද, මේ දිවිය මට මොටද" කියලා ගිහිං තහනං ගහට නැගලා "මම මැරිලම පලච්චාවේ" කියල එකේ තිබුන ගෙඩි ටික කාගෙන කාගෙන ගියා.

ඉතිං මේ ආදම් කියන අපේ මුත්තගෙත් මුත්තගෙත්  මුත්තගෙත් .... මුත්තා ( ...තා) කියන එකා හදිස්සි වෙලා කොරගත්තු දෙයිං මේ පිරිමි සංහතියට වුනු සැසඳිය නොහැකි (incomparable) පාඩුව දැක්ක නේද (මෙන්න point එක බො.බ.සේ ට අල්ලගන්නවානං). ඒ නිසා මිං ඉදිරියට පිරිමි අපි ගන්නා සෑම තීරණයක්ම වඩාත් හොඳිං හිතා බලා ගන්නට අපි අපටම සපථ කොර ගමු (අපි වෙනුවෙං අපි).

මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.

ප. ලි.
එත් ඉතිං පළවෙනි වරම ඒවට දීලා දෙවෙනි එක ගන්ට හිටියා නං එක මොකක් වෙයිද කියලා කව්ද දන්නෙ. සමහරවිට ඒක මාසික දිනුම් ඇදීම වුනානං හෙම කාට කියන්ටද නේද?

Follow This Blog !!!

Monday 26 May 2014

02. නොනිදන පුරවරයේ අපේ ජීවිතෙ - Repost

බ්ලොගක් දමන්නට ආ කළ සිකුරාදා
මැකී ගියා පෝස්ටුවක් තිබුණු දමා
සෙව්වත් පිළියමක් වැටි වැටි අඬා දොඩා
නොදිටිමි පිළිතුරක් සනසන සිතැඟි මෙමා

Google දෙයියන්ට යදිමින් අඩමානේ
Forum එකින් එක බලමින් සිටියානේ
Pressure වැඩි වෙලා නියපොතු කැවුනානේ
Delete වී ගියෙ ඇයි මේ මළදානේ

කොහොම නමුත් දත කාලා අවසානේ
බොහොම වෙලා සැරිසරලා මම ජාලේ
මෙහෙම පිළිතුරක් දැක්කයි නෙතු මානේ
එහෙම කළොත් ගොඩයනවලු මන්ද අනේ

අමාරුවෙන් cached copyයක් සොයාගෙන
අත්වාරුවෙන් forum මයේ කියූ ලෙස
සෝදිස්සියෙන් steps ටික follow කොට
සන්තොසයෙන් දැම්මෙමි re-post කොට

නෝනාවරුණි මහතුනි කරුණාවන්ත
මා වැනි දුහුනන්ද අද ලොව තව නැද්ද
සමා වෙලා නොදැනී වුණු වැරැද්දට
ගොඩවී යන්ට එනුමැන පෙර පුරුදු ලෙස

ඕන්න එහෙනං re-post එක දැම්මා. Sorryවේවා හොඳේ.

02. නොනිදන පුරවරයේ අපේ ජීවිතෙ (1 කොටස)

හරි දැන් ඉතින් බ්ලොග් එකක් පටාන් ගත්ත කියමුකෝ. දන් ඉතින් මොනවද ලොක්කා ලියන්නෙ?

හරි එහෙනම් ඉස්සෙල්ලාම වර්තමාන කතාව කියල ඉමුකෝ.මම කලින් කීවනේ මම ඉන්නේ මැදපෙරදිග කියලා.මම දැන් නං ඉන්නේ කටාර් රාජ්‍යයේ (State of Qatar). දන් මෙහෙට ඇවිල්ලා අවුරුදු 4ක් විතර වෙනවා. මෙහෙට එන්ට කලින් ඩුබායි (Dubai - UAE) වලත් අවුරුදු 3ක් විතර හිටියා. එහෙම ඉන්නකොට තමා අපිව කුණාටුවකට අහුවුනේ (වයිටයි ගලිවරුයි වගේ). කුණාටුවක් කීවෙ සුළි කුණාටුවක් නෙවේ ආර්ථික කුණාටුවක්. ලංකාවට ඒ තරම් දැනුනෙ නැති වුනාට 2007-08 දී ඇතිවුන ආර්ථික අවපාතය ඩුබායි වලට හොඳටම දනුනා.බොහොමයක් දෙනාට බඩ රස්සාව නැතිවුනා. මමත් එයින් එකෙක්.

ඒක වුනහැටිත් ටිකක් ලස්සන කතාවක්. කතාව ලස්සන වුනාට ඒ දවස්වල නම් කෙළවෙලා හිටියේ.

ඔන්න ඉතින් මම (මම කීවට ගෙදර උන්දැත් එක්කම තමා ගොඩබැස්සේ) මුලින්ම ඩුබායි වලට ආවේ 2006 දී. අපි දෙන්නම රස්සාව කළේ එකම company එකක. කොහොමහරි ඔහොම ඉතින් අවුරුද්දක් හමාරක් ඉන්නකොට අපිට හිතුන දැන් මේ company එකේ හිටිය ඇති කියලා. ඒ ඇයි කියනව නම්, අපි අන්තිම වෙනකොට හිටිය construction site එක අපි නැවතිල හිටපු තැන (අපි මුලින්ම නැවතිලා හිටියෙත් එලම කිරි පලාතක තමා, පස්සෙ කියන්නංකෝ) ඉඳලා ටිකක් දුරකින් තිබුනේ. ඉතින් වැඩට යෑම සහ ඊම හෙනම වාතයක් වෙලා තිබුනේ. එහෙ ලංකාවෙ වගේ හැමතැනටම යන්ට බස් නෑ. එක්කො තමන්ගෙ වහනේ නැත්නම් taxi එකක තමා යන්ට වෙන්නේ. අපිට ඒ දවස් වල වාහනයක් තිබුනෙ නෑ ඒ හින්දා ඉතින් ටැක්සි සරණ තමා. ඒ දවස් වල taxi එකක් අල්ල ගන්නවා කියන්නෙ හෙනම ගේමක්. ටැක්සි කාරයෝ හිටියෙ හරියට උන් එලවන්නෙ Air bus A380 වගෙ (ඒ දවස්වල A380 තිබුනෙ නෑ හැබැයි!!!). උදේ 8ට වැඩට යන්ට පාන්දර 6යේ ඉඳන් පාරේ ඉන්ට ඕනේ. කොහොම හරි ඉඳල ටැක්සියක් අල්ලගත්තා කියමුකො, එත් වැඩේ පත්තුවෙන්නෙ site එක ළඟට ගියාම. site එක තිබුනෙ මහ පාරේ (yes, high way) ඉඳන් ටිකක් ඈතට වෙන්ට. site එක අතුලෙ තාර දාපු පාරවල් නැහැ. ඉතින් ටැක්සි කාරයා නාහෙන් අඬන්ට ගන්නවා site එක අතුලට යන්ට බෑ කියලා. දැන් ඉතින් වෙන කුමක් කරන්ටද කියල අපි ටැක්සි කාරයට සල්ලි දීල (උගේ හත්මුතු පරම්පරාවටම පින් දීලා) ටැක්සියෙන් බැහැල gate එක ගාවට වෙලා ඉන්නව site එක ඇතුලට යන වාහනයක් එනකම් (summer එකට උදේ පාන්දර කියල නෑ. අව්වෙ ඉන්නකොට මාර සනීපයක් තියෙන්නේ. temperature hits 35C to 40C even before it is 8 am). කොහොමින් හරි site එක අතුලට ගියා කියමුකො. දැන් කතාව ඉවරද. තාම නෑ සුපින්වතුනි, වැඩ ඉවරවෙලා site එකෙන් එලියට ඇවිල්ලා ගෙදර එන එක වැඩට ගියාට වඩා ත්‍රාසය, භීතිය කුතුහලය පිරුනු වීර චාරිකාවක්.

Site එකෙ අපිත් එක්කම වැඩ කරපු අයියා කෙනෙක් හිටියා අපි හවසට පොරගෙ වාහනේ බස් එකක් නවත්ත ගන්ට පුලුවන් තැනකට එනවා. (හවසට ටැක්සියක් අල්ලගන්න වට වඩා ලේසියි මාතලීට call එකක් දීල විජයෝත්රථය ගෙන්නගන්නා එක).ඊට පස්සේ බස් එකක් එනකන් පැයක් හමාරක් ඉඳලා එකේ නැගලා (බොහෝ විට හිටගෙන.ඉඳගන්ට ලබුනත් මම එක තැනක එවුන්දෑ තවතැනක. ගැහැනු පිරිමි ඉඳගන්ට වෙන වෙනම වෙන් කොරලනෙ තියෙන්නේ. උන්ගෙ අම්මගෙ රෙද්දෙ, රෙද්දෙ නෙවෙයි අත්තටම කිකාබයේ සදාචාරේ) පැයක් විතර රවුමෙ ඇවිල්ලා බහින්ට වෙන්නෙත් ගේ ගාවට වඩා 1.5 Km විතර ඈතින්. ඉතින් ඊට පස්සේ ඉතිරිටික පයින් එන්ටත් ඔනේ (පාර පැනගන්ට හෙන ගේමක් දෙන්ට ඕනේ). කොහොම හරි අපේ දවසේ වීර චාරිකාව ඉවර වෙනකොට රෑ 8.30 විතර වෙනවා. (සමහර දවස් වලට මීටත් වඩා රෑ වෙනවා). ගෙදර ඇවිල්ලා බලනකොට ගජමන් නෝනගෙ කකුල් සෙරෙප්පු වලට කැපිලා, මූනෙ ගෑව සායම් දාඩියට හේදිලා, රස්නෙට මූන ඉදිමිලා රතුවෙලා (කෙටියෙන්ම, මූන දෙල් වෙලා!!! දෙක පුල් වෙලා!!!). දැන් රෑට උයා කන්ටත් ඕනේ, හෙට දවල්ට කන්ට ගෙනියන්ට දෙයක් හදාගන්ටත් ඕනෙ, දෙන්නගෙන් එකෙකුටවත් හරියට උයන්ටත් බෑ (අපේ ගජමන් නෝනත් අම්මා උයනු මම කයනු ජතියෙ ගෑණු පරානයක්  වෙච්චි. හැබැයි දැන්නම් යන්තම් කන්ට පුලුවන් ගානට ගොඩදාගන්ට පුලුවන්!!!). අන්තිමේ ඔන්න ඔහෙ මොනවහරි මළදානයක් තම්බල ගන්නවා. (බොහෝ විට රෑට කෑවෙ කඩෙන්. පරාටා සහ පරිප්පු තමා නැත්තම් chicken බුරියානි. මේ යෝදි කඩෙන් කන්ටත් ඒ හැටි මනාපයක් නෑ. අයෙ මම කියල මක් කොරන්ටද මේ නොරට වෙච්චී!!!). ඔයින් මෙයින් කෑවයින් නොකෑවයින් බුදිය ගන්නවා. ඊලඟ දවසෙ උදේම නැගිටින්ටත් එපැයි. (ආයෙ මොන කතාද, මම කීවනෙ හවසට එනකොට ගජමන් නෝනගෙ හැටි සුබාවෙ. අයෙ ඉතින් මීක් නොකිය බුදියාගන්ට වෙනවා. No overtime!!!).

ඉතින් මෙයාකාර දවස ගෙවෙන එක අපිට එපාම වෙලා තිබුනෙ. (විශේෂයෙන් මට. බැඳපු අලුත මෙහෙම ඉන්නවට වඩා හොඳයි නෙව UPN කාරයො ටිකක් සැට්කොරගෙන මත්තල ගියානං. ඉතින්, සිරි යහනේ නැත සහනේ!!!).

කොහොමහරි අන්තිමේ අපි තීරනේ කොලා මේ රස්සාවෙන් අයින් වෙලා වෙන රස්සාවක් හොයා ගන්ට. ඒ දවස් වල රස්සාවක් හොයා ගන්න එක ඒ තරම් අමාරු දෙයක් නෙවේ. (මේ 2007 දෙසැම්බර් වගේ). ඉස්සෙල්ලම මට අලුත් රස්සාවක් සැට් වුනා. ඒ, ඒ දවස්වල ඩුබායි වල තිබුන ලොකුම development company එකක. අයෙ මොනාද, ටක් බක් ගාල අලුතෙන් ගෙයකුත් හොයාගෙන, වාහනේකුත් අරගෙන (driving license ගන්නව කියන්නෙ වෙනම project එකක්. ඒක පස්සෙ කියන්නංකෝ) අලුත් තැන වැඩට යන්ට පටන් ගත්තා. ඊට මාස කීපයකට පස්සෙ ගජමන් නෝනටත් හොඳ තැනක, හොඳ පඩියකට (පඩි මටත් වඩා වැඩී, මගෙ ගෘහමූලික කොමටත් කෙලවුනා!!!) රස්සාවක් හම්බ වුනා. ඉන්පසු මේ රජ කුමාරයත් රජ කුමරියක් සමයෙන් සතුටින් බොහොම ටික කාලයක් ජීවත් වුනා. (දැන්, සිරි යහනෙ ඇත සහනේ!!!). ඕන්න ඔය වෙලාවෙ තමා සුපින්වතුනි American කුමන්ත්‍රණ කාරයො එකතු වෙලා අපේ සොඳු දිවිය අවුල් කිරීමේ පරම පිවිතුරු චේතනාවෙන් ආර්ථික අවපාතය ඇති කොලෙ. මට යන්තම් මාස 11 යි අලුත් තැන වැඩ කොරන්ට ලබුනේ. year end vacation එක ගිහිල්ල එනකොට ලියුම ("We regretfully inform you that your services as a xxxx is no more required ...") ගහල තිබුනෙ (මම මේක කලින් දැනගෙන තිබුනෙ නැත්නම් පපුවෙ අමාරුව හැදෙනවා!!!). දෙය්යනේ කියලා මාස තුනක පඩි වැඩිපුර දුන්නා. ඒකත් අරගෙන  ආර්ථික අවපාතයට ජයවේවා කියල මම ගෙදර ආවා. ගජමන් නෝනගේ රස්සාවටනම් ඒ වෙලාවේ අවුලක් වුනෙ නැහැ. කොහොම වුනත් මෙතනින් පස්සෙ අපෙ Dubai ජීවිතේ අවසාසනය අරම්භ වුනා.

මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.

ප.ලි.

ඔන්න දෙවෙනි පොස්ට් එකත් අදම දැම්මා. නැත්තම් වැරදිලාවත් මොකෙක් හරි මේක බලන්ට අවොත් බලන්ට දෙයක් නැහැනෙ. එතකොට පුදපු ගමන් කාපි යකා වෙනවා.

Follow This Blog !!!

Thursday 15 May 2014

05. හිටිවන කවි

මේ සතිය (අපිට අදින් සතිය ඉවරයි, මේ ඔටු රට නොවෑ) නං එපාම කොරපු සතියක්. මගේ ලොක්කා නිවාඩු ගිහිං. මං හිතුවෙ ලොක්කා නිවාඩු ගිය එකේ ආතල් එකෙ ඉන්නං කියලා. ඒත් කරුමේ කියන්නේ ලොක්කා නැතිවෙලාවෙම මේ අනිත් එවුන්ට urgent ලිවුං යවන්ට ඕනැ වෙලා තියෙන්නේ. සමහර ඒවා මම අහලවත් නෑ. ඒත් මක් කොරන්ටද මොන මොනවා හරි අමුනල දෙන්ටත් එපැයි. ඇත්තටම ඇයි මේ වගේ ලොක්කො නැති වෙලාවටම අනිත් එවුන්ට අපිව මරා කන්ට හිතෙන්නෙ. අනේ මගෙ සුදු ලොක්කෝ (ඒකා ඇත්තටම සුද්දෙක්!) ඉන්න තැනකින් විගහට වරෝ (ඕං දැං e-mail එකක් එවලා ඒකා ලබන සුමානෙත් නිවාඩු කියලා).

අද ඔන්න ටිකක් හුස්මක් කටක් ගන්ට පුලුවං ගතියක් තියෙන්නේ. තිබ්බ වැඩ ටික හිමිහිට ලියුං සහ e-mail ටිකක් ගහල අනිත් එව්වංට pass කොරලා දැම්මා. ආයෙ ඉතිං එව්වට ඕකුං උත්තර බඳින්නෙ ලබන සුමානෙ තමයි. බුරහස්පතින්දා කියන්නෙ සතියේ අන්තිම දවස හින්දා කව්වුරුවත් ඒ හැටි වැඩක් කොරන්නේ නෑ. e-mail එකත් එව්වත් ඒක එවන්නෙ වැඩ ඇරෙන්ට ඔන්න මෙන්න කියලා. එතකොට ෂුවර්නෙ එකට reply එකක් එන්නෙ නෑ කියලා. ඕන්න ලෝස් බෝස් නැතුව ගුරු මුට්ටි නැතුව රාජකාරී රහසකුත් කියල දුන්නා. මේවෑ ඉන්න එකාලත් එක්ක ඉහ ගහගෙන ඉන්ට නං ඔය වාගෙ සූස්තර කොයිකත් දැනගෙන ඉන්ට ඔනෑ. නැත්තං වසල හමාරයි ඕං.

ඔයිං මෙයිං කියන්ට ආ කතාව මග ඇරෙනව ඕං. මේ කතාව මට මතක් වුනේ හැලපෙගේ බ්ලොගේ තිබුණ තොරණෙ විස්තරෙ දැකලා.තොරං කිව්වම මහ ගොඩක් ජාති තියෙනවා මේ දවස් වල තියෙන වෙසක් තොරං පොසොන් කාලෙට පොසොං තොරං පල්ලියෙ මංගල්ලෙ දාට පොල් තොරං මගුල්තුලාඔලදි ගහන මගුල් තොරං (මගුලෙං පස්සෙ ගහන කුරුළු තොරං හැබැයි මේ තොරණ නං ගහන්නෙ බැඳපු එවුං දෙන්නා විතරයි) ඔක්කොම දාල වෑගංපිටි යන දාට සොහොන් තොරං ඔන්න ඔය වාගේ අටෝ රාසියක් තොරං ජාති තියෙනවා.

තොරං ගැන නෙවේනෙ කතාව. හිටිවන කවි ගැන නේ. මේක මම කොහෙදි හරි කියවපු කතාවක්. මෙන්න මෙහෙමයි කතාව.

ඔන්න එකමත් එක ගමක හිටියලු බොහොම සමත් හිටිවන කයි කාරයෙක්. අහල ගං හතේම තොරං පොළවල්, පිංකං පොළවල්, වෙන්දේසි පොළවල් ඔය කෝකත් හිටිවන කවියෙං ඔප කොළේ මේ කයි රාළ තමා. දන්න දා ඉඳලා කවි කිය කිය දහ අතේ ගියා මිසක්කා කර කාරයක් බැඳගත්තෙත් නෑ. දැං ඉතින් ඉහ නිකට පැහිලා හිරයක් ගන්න වයසත් පහුවෙලා.ඉතිං අපේ කයියා දවසක් උදෑනැක්කේ මිදුල අතු ගගා කල්පනා කොළා තමුංටම කියලා දරුමල්ලෙකුත් නැති එකේ මගෙන් පස්සෙං පහු මේ සාස්තරෙ මං කාට කියල දෙන්නටද. ඒ හින්දා ගෝලයො දෙතුං දෙනෙක් හදා ගත්තනං යසයි කියලා. මෙහෙම හිතලා ගමේ හිටිය පැල් කයියට අඬහැරේට දස්ස පස්සකං ඇති ගැටයො දෙතුන් දෙනෙක් එක්කාසු කොරගෙන ඕන්න "ස්වස්ථි සිද්ධම්" කියලා කයි පද බඳින හැටි ගෝලයන්ට කියාදෙන්ට පටං ගත්තා. දැං කයි කැලෑසිය පටං ගෙන කාලයක් ගෙවිලා ගියා. ගෝලයොත් ඉතින් දැං යංතරමක කයියෝ වෙලා හිටියේ. ඔහොම ඉන්නකොට දවසක් අහළ ගමක තියෙන කයි මඩුවකට අපේ කයියට ආරාධනාවක් ලැබුණා.

කයියත් ලැබුණු ආරාධනාව බොහොම හිත් සතුටින් බාරගත්තා. මිනිහගෙ පැලෑන වුනේ මේ කයි මඩුවෙදි තමංගේ ගෝලයින්ව දොරට වඩම්මංට. ඔහොම හිතල ඔන්න ගෝලයො සැට් එකත් එක්කාසු කොරගෙන කයිමඩුවට ගියා කියමුකො. ඉතින් දැං කයි මඩුව බොහොම සාර සුබාවෙට කෙරීගෙන යනවා. කයිමඩුවෙ උන්නු හැම කයියාම රස වෑහෙන කයියෙං සබාව පිනෙව්වා. අපේ කයියගෙ ගෝලයනුත් ඉතිං තමංගේ අවස්ථාව එනකං දැං බලගෙන ඉන්නවා.

ඔන්න දැං කයි මඩුවෙ අවසාන භාගයටත් ලඟාවුණා. අපේ කයියා කවියෙන්ම තමන්ගෙ ගෝලබාලයින්ගේ වරුනාව කොරලා ගෝලයින්ට ආරධනා කොළා පිරුං කයියක් කියන්ට. පිරුං කයියක් කියන්නෙ කීපදෙනෙක් එකතුවෙලා එක් එක් කෙනා කයියෙ පදේ හෝ දෙක  බැගිං කියලා කයිය සම්පූර්ණ කොරන එකටයි. ඉතිං ඔන්න පළවෙනි ගෝලයා කයිය පටන්ගතතා මෙන්න මෙහෙම.

"නමදිමි වැදූ මගෙ මව් හට සෙත් වේවා."

ගෝලයා නමෝ විත්තියෙං කියන කයිය තමුංගෙ මෑණියං සිහිකොරලාම පටන් ගත්තා. ඊට පස්සෙ හිටිය දෙවැනි ගෝලයත් ඉතින් ටිකක් කල්පනා කොරලාහෙම මෙන්න මෙහෙම කීවා.

"නමදිමි හැදූ මගෙ පිය හට සෙත් වේවා."

තුංවැනි ගෝලයා කලිං උං දෙන්නා දෙමාපියං සිහිකොරාපු හිංදා තමංගෙ වාරෙදි මෙහෙම කයිය පිරුවා.

"නමදිමි සුරූ මගෙ ගුරු හට සෙත් වේවා."

දැං තුංවැන්නගෙ වාරේ. මේකා ටිකක් විතර ලැජ්ජාකාරයා. කයි කියන්ට පුළුවං වුනාට මොකද රැස්වෙලා හිටය සෙනග දැකලා මිනිහා හොඳටම කලබොල වෙලා හිටියෙ තමංගෙ කයි පද වරදීදෝ කියලා. දැං කලබොලේ හින්ද මිනිහට කයි පදයක් හිතට එන්නෙත් නෑ. පෙර පද වල තිබ්බ එළිසමෙත් මිනිහට දැං නිච්චි නෑ. දැං ඔන්න මිනිහ තටම තටමා "නම... නම.... නම..." කිය කිය ඉන්නව. ගැට පොල්ලකිං හිස්මුදුනට පතබෑවා වගේ දැං  මේකා හිරිවැටිලා ඉන්නෙ. කිසිම දෙයක් මතකෙට එන්නෙනෑ.

දැං නං ගුරාටත් ටිකක් මල පැනලා. ගෝලයා දිහෑ විඩිං විඩේ රවල ඔරවල බලනවා. ඔය අව් අස්සෙ තුංවෙනි ගෝලයා හෙමිං සැරේ හතර වෙනියගෙ කනට ළංවෙලා මෙහෙම කීවා.

"ඇයි යකෝ ඊයෙ රෑ අපි පාඩං කොරේ තොට මතක නැද්ද?"

මේක ඇහුනා විතරයි ඔන්න හතරවෙනි ගෝලයාත් ඔලුව හෙම වනල, උගුරරේ රැල් බුරුල් ඇරලා නළල එහෙම කහලා බොහොම අභිමානවත් විඩදිහට සභාව දිහෑ බලා මෙන්න මෙහෙමෙ පිරුං කයිය අවසං කොළා.

"ඊයේ රෑ හදපු හිටිවන කවි මේවා"

පහුවෙනිදා උදේ අහල ගං හතේම ගහක් ගලක් ගානෙ ඔය පහළ තියෙන කයිය ඊට අනුපානෙට ලියපු තව කයි කීපයකුයි එක්ක බොහොම අගේ ඇති කෑළෑ පත්තරේක තිබුණා.

නමදිමි  වැදූ මගෙ මව් හට සෙත්    වේවා
නමදිමි  හැදූ මගෙ පිය හට සෙත්   වේවා
නමදිමි  සුරූ මගෙ ගුරු හට සෙත්  වේවා
ඊයේ    රෑ හදපු හිටිවන කවි          මේවා

මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.

Follow This Blog !!!

Wednesday 7 May 2014

04. මොකටද අවදානමක් ගන්නෙ නේද ?

මම අද උදේ බුකියෙ දැක්කා නියම status update එකක්. ඒක තිබුනෙ මෙන්න මෙහෙම "අපේ Wife කියනව ගෙදර වැඩට උදවු කෙරුවට මැරෙන්නෙ නැහ කියල.....එත් මොකටද අවදානමක් ගන්නෙ නේද ?....."

ගජමන් නෝන නං බොහෝවිට අහන්නේ මැරෙනවද කියල නෙවෙයි. ගෙවෙනවද කියලා.

උදා: 1 "ඇයි මගේ කෝප්පෙත් හෝදලා තිබ්බම අත් දෙක ගෙවෙනවද?
උදා: 2 "ඇයි මම උදව්වක් කලාම thank u කියලා කිව්වොත් කට ගෙවෙනවද?" (වෙන ගෑණුන්ට නම් ඕන තරං ඒවා කියයි)
උදා: 3 "මොකද පුතාට නින්ද යනකං වඩාගෙන අවිද්දම කකුල් දෙක ගෙවෙනවද?"
උදා:4
උදා:5
උදා:6
.
.
.
.
උදා:n

අනෙ මේ යෝදිට තේරෙන්නෙ නෑනෙ මම අවදානම මග හැරීම (Risk avoiding) කියන මූලික අවදානම් කළමණාකරන උපාය (Risk Management strategy) ප්‍රායෝගිකව කිරියාවෙ යොදවනවා කියල.ඇත්තටම අහනව වගේ මොකක් හරි ගෙවිලා ගියොත් ආයේ පංචිකාවත්තෙන් ගෙනත් දන්ටද, එහෙනං? ඕවා අපිට විස්සවිජ්ජාලෙදී කියල දුන්නෙ මේ වගේ අතිශය තීරණාත්මක අවස්ථාවලදී පාවිච්චි කොරන්ට නේන්නං.

ප.ලි
හැබැයි අර විදිහට status update එක දාපු මගේ ෆ්‍රෙඩා නං මට හිතෙන විදිහට දන්නෙම නැතුව කොරල තියෙන්නෙ එක අවදානමක් මඟඇරලා ඊට වඩා ලොකු අවදානමක් බාර ගැනීමද (Risk retention/acceptance) මන්දා? මොකද මේ status update එක ඒකාගේ ගෙදර උන්දැ දැක්කම මොනවැයින් මොනව වෙයිද දන්නෑ.

මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.

Follow This Blog !!!

Thursday 1 May 2014

03. තර්ක විතර්ක

මේක බොහොම පොඩි කතාවක්. මේක මට ලියන්ට හිතුනේ අද උදේ "තිලක සිත" කියවලා.

මේක සිද්ද වුනේ ඇත්තටම ඊයෙ හවස්කොරේ. ඊයෙ හැන්දෑවේ මම වැඩ ඇරිලා ගෙදර ගියාම මට ගජමන් නෝනා කිව්වා නෝනෙයි ඇළපාත කුමාරියි (අපේ දොනියැන්දෑ, තාම මොට්ටසෝරි යන්නෙ!!!) අතර ඇති වුණු දෙබසක්.

ඇළපාත කුමාරි: අම්මි, අම්මිගේ surname එක මොකක්ද?
ගජමන් නෝනා: ................ නේ (ගජමන් නෝනෙගෙ පරම්පරා වාසගම. කැන්දං ආවා කියල මම නෙවෙයි ඕං  ඕවා වෙනස් කොරන්ට ගියේ)
ඇළපාත කුමාරි: එතකොට මගේ surname එක මොකක්ද?
ගජමන් නෝනා: ................ නේ (මගේ මුදලි වාසගම, එහෙනං හ්ම්)
ඇළපාත කුමාරි: එහෙම බෑනෙ, අම්මියි මායු girls ලා හින්දා හරිනම් girls ලට එකම surname එක තියෙන්ට ඔනිනේ (මුන්දැට හැම දේම girls & boys කියල වෙන් කොරන්ට ඕනේ. නිල් පාට රතුපාට  ඇඳුමක්වත් අදින්ට කැමති නෑ ඒවා boys colours කියලා, ඕන්න එහෙනං)
ගජමන් නෝනා: නෑ නෑ බබාලට දාන්නෙ අප්පච්චිගේ surname එක
ඇළපාත කුමාරි: ඒ වුනාට අම්මිනේ අපිව hospital එකෙන් ගෙනාවෙ, අම්මිනෙ අබුන් කවන්නෙ, කුක්කු හදල දෙන්නෙ (එතකොට මම මොකවත්ම කොරන්නෙ නෑ එහෙනං) හරිනම් බබාලට දාන්ට ඕනෙ අම්මිගේ surname එකනෙ.
ගජමන් නෝනා: හි... හැ... හු.. හූ

බලාගෙන ගියාම දොනියැන්දගේ කතාවෙත් ඇත්තක් නැත්තෙම නෑ නේද?

මේ වගත් එසේම,
ඇළපාත මුදළි වන මම්ම වම්හ.

Follow This Blog !!!